2018/11/10

මලබාරි බත් ,ඉන්දියන් බත්



පිටරටක රස්සාවක් කරන්න හීනෙකින්වත් හිතේ තිබුණේ නැති කෙනෙකුට රට රස්සාවකට යන්න හිත හදාගන්නේ කොහොමද කියලා දැනෙන්නෙ රට රස්සාවකට ගිය කෙනෙකුට විතරයි ...

ඇරත් තමන් ආදරය කරන දරුවො ,වයිෆ් ,සහෝදර සහෝදරියො ,අම්මා තාත්තා ගෙන් වෙන් වෙලා අෑත රටක තනිවෙන්නත් හිත හයිය තියෙන්න ඕනෙ කියලා දැනෙන්නෙ ගුවන් තොටුපලෙන් සමුගන්න මොහොතෙදී......

ඇත්තටම අව්‍යාජ කඳුළු දකින්න පුළුවන් හොඳම තැන තමයි ගුවන් තොටුපල...

මේ කියන්න හදන්නේ ඒ ගැන නෙවෙයි ...
බඩජාරිකම ගැන....

කෑම වල රස බැලුවා මිසක් ජීවිතේට හොද්දක් මාළුවක් උයලා නැති එකෙක් උයන්න පුරුදු වෙන එකත් මාර අත්දැකීමක්.....


රස්සාව ලැබුනත් ඇග්‍රිමන්ට් එකේ හැටියට ලැබෙන්නේ ඉඳුම් හිටුම් විතරයි ... කෑම අපි විසින් සපයා ගන්න ඕනේ ......
ඒ කියන්නේ කඩෙන් තමා ,
නවාතැනේ නීතිරීති අනුව ඉවීම ,ගිනි දැල්වීම තහනම් ...
ලංකාවේ ඉඳිද්දි උයපු නැති අපි උයයිද මෙහේ කියලා කට්ටිය රෙස්ටුරන්ට් වලින් කන්න පටන් ගත්තා .
බුරියානි ද ⁣තෝසෙද අරවද මේවද තියෙද්දී මොකටෙයි අප්පා ඉවිලි.....

ඒත් ...... සතියක් දෙකක් බුරියානි ම කෑවට පස්සේ අතිරස ට වෙච්චි දේම තමා බුරියානි වලටත් උනේ....
පෙන්නන්න බැරි උනා....

ලංකාවේ ඉඳිද්දි අම්මා උයන කෑම ,
නෝනා උයන කෑම දැන්නං දිවිය බෝජන වගේ දැනෙන්න පටන් ගත්තේ ඔය අතරෙ තමයි ...

" මම නං ආයෙ ලංකාවට ගියාම ⁣ගෙදර උන්දෑ ලුණුයි බතුයි දුන්නත් කිසි දෙයක් කියන්නේ නැතුව කනවා මචං "

සමහරුන්ට එහෙම කියවෙන්න පටන් අරං.....

මලබාරි බත් ,ඉන්දියන් බත් වලට හුරු වෙන්න හැදුවත් මිරිස් නැති - පොල් කිරි නැති මාළු පිණි බඩ පණුවො කටේවත් තිබ්බෙ නැති එකනෙ වැඩේ.......

මේ හැමදේටම වග කියන්න ඕනේ අම්මයි නෝනයි තමා....
කටට රසට කෑම හදලා දුන්නම අපි ඒවට හුරු වෙන එක අහන්නත් දෙයක්ද...
ඔක්කොටමත් හපන් මෙහෙ තියෙන පටාන් රොටිය......

රොටි කිව්වට ලංකාවේ රොටි එක්ක සංසන්දනය කරන්න නං එපා ඕං.....

ලංකාවේ නං උදේ හදපු රොටිය හවස කන්න පුළුවන් ශෝක් එකට....

ඒකට මේ පටාන් රොටි ......
හදන්නෙත් පොල් නැතුව පිටි විතරක් දාලා....... .
ඒක හදපු ගමන් කන්න ඕනෙ ...
පැය බාගෙකට පස්සේ ඒක රබර් රොටි තත්වෙට එනවා....
අනික තමයි අපේ ජාතික ආහාරේ - පරිප්පු .
පරිප්පු දීසියෙ පානක් පත්තු කරන්න පුළුවන් තරමට තෙල්...
තෙල් බේරිබේරී පරිප්පු කන්න නං ඉතිං අබුඩාබි ම එන්න ඕනේ ....

හැබැයි ඉතිං මේවා කිසි අමාරුවක් නැතුව උගුරෙන් පහලට දාගන්න කීපදෙනකුත් හිටියෙ නැතුව නං නෙමෙයි ..
මං කලින් කිව්වේ .. ඒවා ඉතිං අපේ අම්මගෙයි ,වයිෆ්ගෙයි වැරදි තමා...

මාස දෙක තුනක් මේ කටුක භෝජනේ ගිලලා ගිලලා අන්තිමට අපි කීප දෙනෙක් ලංකාවේ ගතිය පෙන්නන්න තීරණය කලා..........

ඒ කියන්නේ නීතියට ගරු නොකරන එක

නවාතැනේ ගිනි දැල්වීම තහනම් උනත් දෙතුන් දෙනෙක් එකතු වෙලා හොරෙන්ම ලිප් වලං ගෙනල්ලා හොද්දක් බතක් හදන්න තීරණය කලා.....
කාල මරණං - අකාල මරණං කියලා දෙකක් තියෙනවනේ ...
මොකටැයි අකාලෙ මැරෙන්නෙ...

ටික දවසක් ආසාව සංසිඳව ගත්තත් බලදියා එකෙන් ( නගර සභාව වගේ ආයතනයක්) පැනලා හට්ටි මුට්ටි එලෝලු සේරම කුදලං ගියානෙ....
හැබැයි ඉතිං එක සැරේම අපි උයන එක නැවැත්තුවෙ නෑ ....
දෙවෙනි වතාවටත් බලදියා එකෙන් පැනලා දඩයකුත් ගැහුවට පස්සේ තමයි නීතියට ගරු කලේ..... ලංකාවෙනේ....

කතන්දරේ කියන්න පටන් ගන්නෙ මෙතෙනින් තමයි ...
උඩ තියෙන්නේ පෙරවදන කියලා හිතා ගන්න කෝ....

ඇත්තම කතාව අර උඩ සඳහන් කරලා තියෙන කන්න බැරි කෑම අවුරුදු හතරක් තිස්සෙම බඩ පණුවන්ට කන්න දෙන්න සිද්ධ උනා.....

දැනට මාස දෙක තුනකට කලින් මට මාරුවීමක් ලැබුනා...
බොලේ .....
එතන රාජකාරි කරන තැනම පොඩි කුස්සියකුත් තියෙනවා ......
උයන පිහන බඩු ටික අරන් යන්න විතරයි තියෙන්නේ .....
වැඩේ ඉතිං ලංකාවෙදි තේ එකක් වත් හදලා නැති මම කොහොමද උයාගෙන කන්නෙ ............
ඒකත් තනියම.....

යකෝ...!!!
ගෑණුන්ට පුළුවන් නං මට බැරි මොකද කියලා ගත්තා අර පුරුස දහිරිය කියන එක...

ඇත්තම කියනවා නං ම⁣ට පුරුස දහිරිය දුන්නෙත් ගෑණු ම තමා....!!!

රැයක් දවාලක් නැතුව බැලුවා youtube එක.
ලේසියෙන් හදන්න පුළුවන් කෑම ජාති හෙව්වා ..
ඒ අස්සෙ ලංකාවේ ගෑණු දෙන්නෙක් කෑම හදන හැටි ගැන වීඩියෝ ටිකක් දැක්කා ..

" අපේ අම්මා "
"අනෝමාස් කිචන්" වීඩියෝ ටික එකක් නෑර බැලුවා...
ලංකාවේ විදියට උයන්න ඕනෙ කරන කුළුබඩු ටික ටික අරගත්තා....
උයන භාජන දෙක තුනක් අර ගත්තා ....
වයිෆ් ගෙනුත් උපදෙස් ගන්න කොට මෙහෙම කියපි.....

" ඇයි අනේ... ඔයාගෙ මල්ලි ගෙන් අහගන්නකො"

කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලේ කුක් කෙනෙක් වෙලත් මං කොහොමද මල්ලි ට සෙකන්ඩ් වෙන්නේ ..........

පස්සෙන් පහු කාලෙක මගෙයි මල්ලිගෙයි නංගිගෙයි දූ දරුවො ඉස්සරහ එයා මෙහෙම කියන්න බැරි නෑ......

ආ........ අපෙ අයියද
ආ......එයා හරි උගතා
ඒ උනාට එයා මගෙන් තමා හොද්දක් බතක් උයන හැ⁣ටි ඉගෙන ගත්තේ ....
කියලා ..

වැඩිමලා හැටියට අවධානමක් ගන්න එක හරි මදි නේද ෆ්‍රෙන්ඩ්ස් ....

අනික මම මේ දවස් වල එයාගෙන් තමා දේශපාලන ආතතිය පිට කරගන්නෙ ....

"අන්න තොගේ මහ එකා මහ බැංකුවට කෙලලා... තෝ වගේ එවුන් හින්දා තමයි රටට මේ කල ගියේ...."

මෙහෙම කියන මම උයන පිහින හැටි අහගන්න එක අනාගතේදි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද ෆ්‍රෙන්ස්....

වැඩේ කියන්නේ එක හොද්දෙන් දෙකෙන්ම සිස්ටම් එක මට තේරුනා..
මම තනියම උයන බව දැනගත්තු අම්මා ලංකාවේ ඉඳන් එන කෙනෙක් අතේ ගෙදර හදපු බැදපු මිරිස්, බැදපු තුනපහ, කහකුඩු ටිකක් එවලා තිබ්බම සංතෝසේ ඉස්මොල්ලෙ ගියා....

මාසයක් ඇතුලත කරි හත අටක්ම හදලා රහ බැලුවා විතරක් නෙමෙයි ...
කලින් නවාතැනේ යාළුවන්ට ඒවයෙ පින්තූර ගහලා යවලා විවිධාකාර සාප කිරීම් වලටත් ලක්උනා.....

දැන් වයිෆුත් අහන්න පුරුදු වෙලා අද මොනවද ඔයා හැදුවේ කියලා
ඒ විතරක් නෙවෙයි ......
මම හදන කෑම වර්ග ලියලා තියාගන්නවලු......
මම ලංකාවට ආවම හදලා දෙන්න වෙනවලු......

හැබැයි මේ ලඟදි මඤ්ඤොක්කා කරියක් උයන්න ගිහිල්ලා පොඩි බයක් ආවා.....
ඒක හරිය⁣ට තැම්බුනේ නැත්තං විස වෙන කතාවක් අහලා තිබුන නිසා. වෙලාවට නෝනත් හදිසි රැස්වීමක...

එදා මට උදව් කලේ බුකියෙන්අඳුන ගත්තු #Muthu Wathsala
එයා තමයි එදා මගේ වීරයා ....
ස්තූතියි මුතූ ....

කෑමට විතරක් ගිජු උනු බඩජාරියෙක්
උයන්න පුරුදු උන හැටි ගැන කතාව නිමයි....
කියවූ ඔබ සැමට ස්තූතියි ....!!!

පහල ඡායාරූප රස විඳීමට පමණයි ..
ඇණවුම් බාරගනු නොලැබේ...

No comments:

Post a Comment