2018/11/10

ගණන් කාරයෙක්



ගොඩක් අය⁣ට හැදුණු ලෙඩේ
බරටම....
සැරටම....
මටත් හැදිලා තිබුණා .
පොඩි කාලෙ ඉඳලම.....

ගණන් බෑ.....

සිංහල බුද්ධාගම වගේ විෂයන් කිරි කජු
වගේ උනත් ගණන් නං මෙලෝ සංසාරයක්
බෑ......

එකතු කිරීම අඩු කිරීම නං ඉතිං අත් කකුල් වල ඇඟිලි වල පිහිටෙන් විසඳගත්තා
කියමුකො ...

නිබිල , කුලක , ප්‍රස්ථාර ,
ජ්‍යාමිතිය , සමීකරණ

මේවා නිකං ජපන් , ප්‍රංස , චීන
අකුරු වලට වඩා වැඩි වෙනසක්
මට දැනිලම නෑ ....

එක වසර
දෙක වසර
තුන වසර විතරක් නෙවෙයි ...
හය හත වසර වලදිත් ඔහොම්ම
තමයි ....

එක අවුරුද්දක මම
පංතියේ හත් වෙනියා...
එ්ත් ගණන් වලට ලකුණු හතයි.

රිපෝට් එක බලලා මටම හිනා 😃 ...

ඒ අටේ පංතියේ දෙවෙනි වාර විබාගෙදි...

හිනා නෙවෙයි ම⁣ට දැන් මැවි මැවි
පේනවා තව අවුරුදු එකහමාරකින්
ඕ ලෙවල් ලියන හැටි...

ඒක ෆේල් වෙලා බෝක්කු ගාණෙ
ඉඳං ඉන්න හැටි....

ඒ කියන්නේ මේ ගණන් කියන මඟුලක්
හින්දා මගෙ අනාගතේම ඉවරයි ...
ඕ ලෙවල් වලට තව අවුරුදු එකහමාරයි.

ඇත්තටම මට ගණන් ඉගෙනගන්න
ඕනෙ .....
ඕලෙවල් පාස් වෙන්න ඕනෙ ....
හොඳ රස්සාවක් කරන්න ඕනෙ ...............................
මට ඇත්තටම ගණන් ඉගෙන ගන්න ඕනේ .

පොඩි කාලෙ ඉඳන් ම හතර අතේ
ටියුෂන් ගියත් ගණන් නං මට පත්තියං
උනේම නෑ .....

ඉස්කෝලෙ....

ඉස්කෝලෙ ගණන් මිස්ලා
සර්ලා කලේ.....
පාඩම කරගෙන කරගෙන කරගෙන
යනවා...
ගණන් හදපු ලමයින්ට හරි දාගෙන
දාගෙන දාගෙන යනවා..
හදපු නැති එවුන්ට තඩි බාගෙන
බාගෙන බාගෙන යනවා.....

ගුටි මිසක් ගණන් නං නෙමෙයි
පත්තියං උනේ....

ගුටි කනවා බලං ඉන්න බැරි කමටද
මන්දා මගෙ හොඳම යාළුවා මහින්ද
(දැන්Roshan Jayasinghe) මට
මෙහෙම යෝජනාවක් කලා...

" සමන්ත
ඔයා එන්න අපෙ ටියුෂන් පංතියට "
.
.
.
.
.
. එතන තමයි හැමදේම වෙනස්
කරපු තැන..

පිහිටක් හොයාගෙන දේවාල දහස්
ගාණක් පස්සෙ යන මිනිස්සු වගේ
මමත් මේ දේවාලෙටත් යන්න
තීරණය කලා....

ඇත්තටම එතන දේවාලයක්
තිබුණා ...
දෙයියෙක් හිටියා...

දේවාලෙ තිබුණේ පානදුරේ ..
දෙවියා තමයි ජයන්ත සර්..
( සමහරු කිව්වේ ගජමෑන් කියලා )

මොකද්දෝ හේතුවකට අච්චර ගණන්
බැරි මාව ඒ සර් බාරගත්තා...

හොඳම අය A ක්ලාස් එකට
මධ්‍යස්ථ අය B ක්ලාස් එකට
මං ඇතුළු මැට්ටො ටික C එකට

ඔව්.

ස්කෝලෙ වගේ
හැමෝම එකට දාලා උගන්නන්නෙ
නැතුව දැනුම අනුව වර්ග කරලා

එක පංතියකට ළමයි විස්සයි.
ළමයි ගාණ ඊට වඩා වැඩිවෙන්න
විදියක් නෑ ....
හේතුව ......
හැම ළමයෙකුටම සිමෙන්ති බංකුවක්
සහිත මේසයක් ⁣පොලවට
හයි කරලා....

සතියට දවස් දෙකක් පංති...
සඳුදයි සෙනසුරාදයි
එක දවසට පැය එකහමාරක්..
සඳුදා පංතිය ඉවර වෙන්නේ
රෑ නමයට...
ඒකාලෙ අන්තිම බස් එක පානදුරින් ⁣
කොටුවට පිටත් වෙන්නෙත් නමය⁣ට.....

එ්ක මිස් උනොත් ගල්කිස්සෙ ගෙදරට
යනකං පයින්...
ඇත්තටම දවසක් බස් එක මිස් වෙලා
පයින්ම ගෙදර ගියා...
රෑ එකොළහා මාරයි ගෙදරට ⁣⁣යනකොට.

මගේ ජීවිතේ ඉදිරි අවුරුදු එකහමාර
මම ඒ සර්ට බාර කලා.....

හේතුව
මට ඕලෙවල් ෆේල් වෙන්න නං බෑ.

හැම සෙනසුරාදා උදේකමත්,
සඳුදා හවස් වරුවත් මම ගල්කිස්සෙ
ඉඳලා පානදුරට බඩගෑවා...

ඒ කාලෙ ගෙදර අඟහිග කං
වැඩියෙන් තිබුණු කාලෙ...
බස් එකේ යන්න රුපියල් දහයක්
නැතුව ඇස්දෙකේ කඳුළු පුරෝගෙන
ගෙදර නැවතුනු වෙලාවල් තිබුණා ....

අහල පහල ගෙවල් වලින්
තාත්තා ආවම දෙන්නං කියලා
හිඟපාඩු රුපියල දෙක ඉල්ල
ඉල්ල ගිය දවස් තිබුණා ....

ඒත් මම කොහොම හරි මේ
ගණන් පංතියට ගියා...

හේතුව
මට ඕලෙවල් පාස් වෙන්න ඕනේ .

ඇත්තටම ඒ දෙයියගෙ දේවාලෙදි
අර ජපන් ප්‍රංස චීන වෙලා පෙණුනු
ගණිතය සිංහලෙන් පේන්න ගත්තා .

ඒක නං තනිකරම දෙයියගෙ දස්සකම..............
මම කලේ කියපු විදියට පේ වුණු
එක විතරයි ...

සතියක් දෙකක් ගියාම සර් මට
මෙහෙම කිව්වා ...

" අයිසෙ සමන්ත
තව පංතියක් තියෙනවා අහවල්
දවසෙ......
ඔයා මම නවතින්න කියනකං
එ්කටත් එන්න "

ඕක මොකද්ද මට .
ගියා ඒ පංතියට 😃 😃

ඒක හය ශ්‍රේණියෙ පංතිය

මගේ පහල පංතිවල දැනුම සර් මට
සම්පූර්ණ කලේ ඒ විදියට ....

මට වඩා අවුරුදු දෙක තුනක් පහල
අයගෙ පංතියේ ඉගෙන ගන්න එක
මට ලැජ්ජාවක් උනේ නැති එක
ගැන අද මට අාඩම්බරයි .
( අර පොඩි ⁣කොල්ලො කෙල්ලො
ලැජ්ජ උනාද දන්නෑ)

ටික කාලෙකින් ඊලඟ පංතියටත්..
එතනින් ඊලඟ පංතියටත්
සර් මාව දැම්මා....

ඕලෙවල් වලට මාස හයක් තියෙද්දී
මම ගණන් හොය හොය හදන තත්වෙට
පත් උනා...

අවසන් ප්‍රතිඵලය....

අවුරුදු එකහමාරකට කලින්
ගණන් වලට ලකුණු හතක් ගත්තු මම
ඕලෙවල් ගණන් පාස්....

😃 😃 😃

ඒ විතරක් නෙවෙයි

උසස් පෙළ ගණිතය හදාරන්න
මොරටුවෙ වේල්ස් කුමර විදුහලටත්
ඇතුළු උනා...

ඒ විතරක් නෙවෙයි

ඒ ලෙවල් කරන ගමන්ම
ඕ ලෙවල් ගණන් ෆේල් අයට
ටියුෂන් පංතියකුත් කලා...

ඒ මුල්ම කණ්ඩායමේ හිටපු
මට අවුරුද්දක් බාල මල්ලි කෙනෙක්
අද ලිට්ල් ලයන් ආයතනයේ මුල්
පුටුවක.....

මේ ළඟදිත්
එයාලට මම කියලා දුන්නු කෙටික්‍රම
මතක් කරලා මැසේජ් එකක්
එවලා තිබුණා ...

ඒ මට අර දෙයියා කියලා දුන්නු ක්‍රම..

අවුරුදු කීපයක් යනකං මම ඕලෙවල්
රිවිෂන් ක්ලාස් කලා...
මට ඕනෙ උනේ මම වගේම නන්නත්තාර
වෙන්න ගිය කීප දෙනෙක්ව ගොඩ
දාන්න.....

වසර අවසානයේ පංතිය ගැන
එයාලට දැනෙන දේ ලියන්න මම
පොතක් දුන්නා .....
ඒ පොත අදටත් මං ළඟ තියෙනවා .
අාදරය කරනඅජීවී වස්තු කීපය
අතර ඒකත් එකක්....

*********************************

* කතාව ටිකක් නීරස ඇති.
ඒත් මේක ලියන්න හිතුවෙ

අපේ ජීවිත වෙනස් කරන්න
දෙවිවරු කීප දෙනෙක් මේ ලෝකෙට
ඇවිත් ඉන්නවා ...
මට මුණ ගැහුණු එක දෙවියෙක්
ගැන ඔයාලට කියන්න .

ඕ ලෙවල් ඇණගෙන කොහෙදෝ
අතරමං වෙන්න හිටි එකෙක් ගෙ
කැපවීම ගැන දැකලා
ඒක හයියක් කරගන්න හිතන තව
කාට හරි කියවන්න .

2 comments: